 |
from Google |
පෙරේදා ජම්බුකාවේ වුමනිං මාර්කැට්ටුවෙන් එලවලු, පළතුරු ගන්නට ආදම් සමග ගිය ඊවා ඔහුගේ ජීවිතයේ මෙතෙක් නොදුටු පැති කඩක් දැකීමට සමත් වූවාය.
ඊවා ගේ අත අත හැර දමා ආදම් ඊගහේ වේගයෙන් එක්තරා කාන්තාවක් ලඟට දිව්වේ සුසිල් ජාම ප්‍රියන්ත, ජම්බුකාවේ නව සෙරමෝනියල් නගරාධිපති තැන්පත් මෙත්තපාල් සක්සේනා ලඟට දිව්වාට වඩා වැඩි වේගයකිනි.
වෙනදා ආදම් කෙල්ලනට පැනි සිනා දමන විට සහ මරු පස්ස ආදී වශයෙන් අදහස් ප්‍රකාශ කරන විට ඊවා ද උපහාසයෙන් උල්පන්දම් දෙමින් ද, ඔයාගෙ දුව වගෙයි ආදී ලෙස ආදම් අධෛර්යය කරමින්ද මෙවැනි දෙය ඉවසන්නීය.එසෙ මුත් මේ මොහොතේ නම් ඊවා වනාහී ඊර්ශ්‍යාවට කියනු ලබන තවත් එක් නමකි.තනිකරම මේ වෙනස වූයේ ආදම් සුසී ජයසිංහ පරයා ගැහැනියක් ලඟට දිවූ නිසාය.
ඊවා ස්වකීය සුදු සහ දුඹුරු මේද සංචිතයෙන් සජ්ජිත බඳ ලෙලෙවා එතනට යනවිටත් ආදම් ස්වකීය ගොදුර ඩැහැගෙන අවසන් කලේ ගැහැණියට රුපියල්ම සියයකුත් ගෙවමිනි.
ඊවා දුටු ආදම් අහිංසක මුත් ජයග්‍රාහී සිනහවකින් මුව පුරවා යලිත් ඇයගේ අත ගත්තේය.
මේ මොහොතේ ආදම් ගේ ජීවිතයේ මෙතෙක් නොදුටු පැති කඩක් දැකීමට සමත් වූවාය.එනම් ඔහු රුබික් කැටය කට දැක්වූ නොනිම් ආලයයි.
යලිත් නිවස කරා එන අතරමග පවා වෙනදා සයිඩ් කන්නාඩියෙන් කෙල්ලන් දෙස බලා මරු පස්ස , කොට මොඩ්ල් ලඟ පිකප් ආදී විවිධ සිනමා විචාර ගෙන එන ආදම් ගේ හදවත එදා නම් එක පැහැර යොමු වුනේ රුබික් කැටයටම පමණි.ඊවා ගැහැණියකට මෙන් රුබික් කැටයට ඊර්ශ්‍යා පවා කළාය.
නාටකයේ ඊලඟ එපිසෝඩය ඇරඹුනේ යුවල නිවසට සැපත් වූ මොහොතේ සිටය.
අන්තර්ජාලය පෙරලාගෙන රුබික් කැටය එකේලි කරන මං සළකුණු සොයන ආදම් ගේ ආර්, යූ, ආර් ඉන්වර්ස්, ඩී,ඩී ඉන්වර්ස් ආදී බහ තේරුම් අතර මහත් ශාප කිරීම් සහ රුබික් කැටයේ නිර්මතෘ ගේ මව් ගුන ගායනා ඇසෙන්නේ තව පැය භාගයක් ගිය පසුවය.
''..මොකද ? රුබික් ලඳ බූට් තිබ්බද..?'' ඊවා කියවමින් සිටි ''එදා චෞර රාජිනී, අද සොඳුරු දේහිනී'' නම් වික්වන් අයිටර් නම් ඇමෙරිකානු ලේඛකයාගේ නවකතාවෙන් මඳක් ඈත් වෙමින් අසන්නේ ආදම් ගැන උපන් ආදරණීය දුකක් ද ඇතිඅවය.
''මේක හරියන්නෙ නැහැ.ස්ටැන්ඩර්ඩ් රුබික් කැටයක තියෙන්න ඕන මේ විදියට නෙමෙයි.වයිට් තියෙන්න ඕන යෙලෝ වලට ඔපසිට්, රෙඩ් තියෙන්න ඕන ඔරේන්ජ් වලට ඔපසිට්,අන්න එහෙම. මේ ජරා චීන බඩු,මෙලෝ ප්‍රමිතියක් නැහැ..''
'' කොටන කුකුළට කොයි කොටුවත් එකයි කියන්නේ?ඔය පේන්නැද්ද ආචාර්ය ඇට ගැමුණු?...''
''එහෙම නෙමෙයි ඊවා, ඔයාට තෙරෙන්නෙ නැහැ, මේකෙ පාඩම් කියලා දෙන්නෙ සම්මත පාට කොම්බිනේශන් අනුව,දැන් බලන්න කෝනර්ස් වලට පාට තුනක් නේ?.. මූණත් වෙනස් කරාම ඔක්කෝම වෙනස් වුනා.ඔයාට තේරෙන්නේ නැහැ මේවා.., ඇට ගැමුණු...!..''
ඊවා නිහඬ වෙයි.හේතුව ආදම් ට සැබවින්ම මල් යායක්ම පැන තිබුණු බව පෙනෙන්නට තිබීමය.
තව පැයකින් එතනින් යන ඊවා තම රබර් ඇස ලෙලවා බලන්නී, රූබික් කැටය කැලි රැසකට ගැලවී ඇති අයුරද ,කැඩුනු රූබික් කැටයක් යලි සකසන්නේ කෙසේද යන යූ ටියුබ් වීඩියෝවට එබී සිටින උනන්දුවාද දකින්නී හොරෙන්ම සීලිම ට මිතුරු සිනාවක් පා පාවුනාය.
අර්බුදයක් ඇති වී කතාබහක් ඇති වූ නමුත් ,ඊවාටත් ආදම්ගේ කේලම් නොබලා ඉන්නට නොහැකි අසධ්‍ය රෝගයක් ඇත්තේය.තවත් පැය දෙකකින් එතැනින් යන ඊවා දකින දසුන සතුටද කුතුහලයද උපදවයි.
යූ ටියුබයට පිං සිදු වේවා!දැන් රුබික් කැටය යලිත් එකලස් වී ඇත..එනමුත් දැන් ආදම් එහි පාට කොල ගලවමින් යලි අලවයි.හතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා! මුහුණත් වල මැද පාට කොල සම්මතයට අනුව ඇලවූ පසු ඒවා හමු වන හැම තැනක්ම අවුල් වී ආදම් කොලෙන් කොලේ ඒවා ගලවමින් යලි අලවයි.රතු පාට කොල ඔහුගේ දකුණු අතේ, කොල පාට වම් බාහුවේ, නිල් පාට කම්මුලේ..!.කවදා ඉවර වේවි දැයි නොපෙනෙන අවුලක අසරණ ආදම් පැටලී ඇත.
'' ඔයාට තිබුනෙ රුබික් කැටය ගලවන්නෙ නැතුව පාට කොල ටික විතරක් වෙනස් කරලා අලවන්න. එහෙනම් මේ වෙනකොට වැඩේ ඉවරයි....''
ආදම් ඊවා දෙස ආදරය ද පුදුමය ද පිරුනු දෑසින් බලයි.
ඉල ඇටයෙන් හැදුනු ගැහැනියට තියන මොලයක්...!
ඉන්පසු පරාජිතව මෙසේ කියයි.
''....ඒක ඇත්ත...!''
ඊවා හිනැහෙයි. ඇයට යම් සත්‍යයක් අවබෝධ වෙමින් තිබෙයි. ඉන්පසු ඒ සත්‍යය වචන වලට පෙරලෙයි.
'' ඔයා ජම්බුකාවෙ අධ්‍යාපන ඇමති වෙන්න ඉහලම සුදුසු කමක් ප්‍රකට කරා මේ මේ රුබික් ජාතකය රඟ දැක්වීමෙන්..''
''...විකාර ඔයාගෙ. මගේ තොල් රතු ය මොකෝ?''
'' ඒ වුනාට විකිල අරාජ් තුමත් ඔහොමමයි.කඩනවා හදනවා.හෙන රවුමක් ගිහින් ආපහු ඒකම හදනවා...''
එහෙත් ආදම් හදිසි සතුටකින් මෙසේ කියයි.
'' ඒ වුනාට මම රුබික් කැටයක් කඩලා හදන හැටි ඉගෙන ගත්තනේ..!.''
ඊවා ද අවබෝධාත්මකව හා කල්පනාකාරීව මෙසේ කියයි.
'' ඉතින් විකිල අරාජ් තුත් අධ්‍යාපන ඇමති වෙන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නවනේ.ඔයා පාට කොල අලවලා ඉවර වෙන කාලෙ වෙනකොට එයාත් ඒක ඉවරෙටම ඉගෙන ගෙන තියේවි..''
ආදම් අධ්‍යාපන ඇමති වෙන සැටිද ,අගමැති තුමාගේ කෝපාග්නියෙන් දැල්වෙන දෑසද ඇයට මැවී පෙනෙයි.
අනතුරක් අත ලඟ බව සිතෙයි.මොනවා කරන්නදැයි අසරණ ඊවාට නොතේරෙයි.