Friday, May 8, 2015

ජම්බුකාවේ විරිදු සැඳෑව

ජම්බුකාවේ ආදම් මඩකලපුව දැන් ට්‍රෙඩ්මිල් පැදීමට අමතරව උදේ සීතල සුලඟ සිප ගනිමින් පෝටිකෝව යට යෝගා ව්‍යායාම ආරම්භ කොට ඇත.ඊවා එය අර්ථ දක්වන්නී ඉස්සරහ ගෙදර ලීනාට පානා අඟර දඟරයක් ලෙසිනි.එබැවින් ඇය ආදම් ගේ හිත කැඩීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙසේ කියයි. 
''ලීනා ගේ  පස්සෙ සයිස්...! වට්ටක්කා ගෙඩියක් වාගේ...''
ආදම් එවිට මෙසේ කියයි.
''වට්ටක්කා වලටත් මම ආසයි නෝනේ...
මිනිහෙකුගේ වර්ධනයට කැරොටීන් ඕනේ''

මේ අතරේ ලීනාගේ සැමියා ෆ්‍රෙඩී තාප්පය ලඟට ආවෙන්, ඊවා පසු බැස ගිය අතර ආදම් ඉදිරියට ගොස් කතාබහක යෙදෙන අයුරුත්, මඳ වෙලාවකින් ප්‍රීතියෙන් ප්‍රමුදිත ආදම් කෙනෙක් ගෙය තුලට දුව ගෙන එන අයුරුත් දර්ශන පථයේ සටහන් වෙයි.
''ඊවී...ඊවී..හාඅහ්..හාහ්...ඊවී''
''ඇයි මොකද මෙච්චර නටන්නේ?මේ සතියට ලීනාව බලා ගන්න කිවුවාද?''
''පිස්සුවක් කියවනවා..මම එච්චර වාසනාවන්ත නම් මක් වෙයිද? එයාලා මේ සතියේ ගමේ යනවාලු.. අපිට අර වැඩේ කරගන්න පුලුවන්.. මේ සතියෙ නිදහසේ..''
''හානේ...ඔවුමයි...හව් නයිස් අනේ...'' ඊවා වටයක් නටා පෙන්වූවාය.

මේ වැඩ්ය කුමක්ද යත්;

විරිදු සැන්දෑවක් පැවැත් වීමේ නොතිත් ආශාවයි. ඔවුන් බලා සිටියේ අහල පහල ශබ්දය ඇසෙන මානයේ සිටින එකම මනුශ්‍ය ප්‍රාණ වන ලීන, ප්‍රෙඩී යුවල කොහේට හෝ අභ්‍යවකාශ ගත වනතුරුය.

තත්පරයක් කල් යවන්නට අකමැති වූ ඊවා වහා මූනු පොතට මූන ඔබා ගෙන පහත සඳහන් ස්ටේටය සමාජ ගත කළාය.

ඇටෙන්ශන් ප්ලීස්!
ඇප්ලිකේශන්ස් ආ කෝල්ඩ් ෆ්‍රොම් දෝස් හූ ආ ඉන්ටරස්ටඩ් ඉන් පාටිසිපේටිං ඉන් කැන්ඩ්ල් ලිට් විරිදු ඊව්නින්ග් ඇට් ඇඩම්'ස් ප්ලේස් ඇට් 5.30 පී එම් නෙක්ස්ට් සැටඩේ. ඊවා ඇන්ඩ් ඇඩම් අන්ප්ලග්ඩ්.රිෆ්‍රෙශ්මන්ට්ස් ප්‍රොවයිඩඩ්.

හැරෙන තැපෑලෙන් ලැබුණු සිය දහස් පිළිතුරු අතරින් පහත සඳහන් අය ඊවාගේ සිරිබර සුරතින් තෝරා ගැනුණි.

1. මෙත්තපාල් සක්සේනා
2.තමිල් මක්කමසිංහ
3.මංගාල් සරම් ආල
4.මොහින්දර් ආලපක්ශ
5. තඹපන්නියේ සුජීව හිමි
6.පට්ට ලීචම්  ෆකරෙණ වක
7.අතිඋතුම් පරාජිත ගොනාරත්න හිමි
8.හරි සන්තෝශ් කරුමනායක
9.දඟර වලිග-ලප කුමාර
10.සාහිත්‍ය චක්‍රවර්ති කුකුල් පාත්ත ගොන්බද්දල

ඉදින් මෙවන් ජන ගඟාවක් මධ්‍යයේ පැවැත්වෙන ඉටිපන්දම් එලියෙන් ආලෝක වත් වූ විරිදු සැන්දෑවට සකල බ්ලොග් වාසී ඔබ සැමටද සාදර ආරාධනා...! ලබන සතියේ හමුවෙමු. 




Saturday, March 21, 2015

ජම්බුකාවේ කොමෝඩ් පහන් සහ ආදම්ගේ විසිල්.

ජම්බුකාව සමස්ත ලෝක ධාතුවේ කරදර ,ප්‍රශ්න අවම නුවර ලෙස කීර්ති නාමය දිනාගනු ලැබුවේ පසුගිය ජනවාරි 8 වන දින පැවැත් වූ නගරාධිපති තරඟයෙන් පසු උදාවූ දේදුනු වසන්තයෙන් පසුවය.අයිස්ලන්තය, ඩෙන්මාර්කය පසුපසට එලවා ග්ලෝබල් පීස් ඉන්ඩෙක්සයට කලන්තය, කරකැවිල්ල ඇති කොට ජම්බුකාව දැන් අයෝමය කාන්තාවක මෙන් පෙරමුණේ සිටින්නීය.

වෙනකක් තබා බෲනායි රාජ්‍යයේ හසනල් අල් බොල්කියා රජ පවා ආර්ථික උපදෙස් ඉල්වා ජම්බුකාවේ අටුව භාර අමාත්‍ය '' හරි-සන්තෝස් කරුමනායක'' ගෙන් ඇපොයින්ට්මන්ටයක් බුක් කර අවසානය.

ඉදින් ජම්බුකාවට කුමන ප්‍රස්නද?ඇය වනාහී සකල නෛකශ්‍රීන් ආඪ්‍ය යුටෝපියා හෙවත් කේතුමතී නුවර විළි කොට පළවා හරින්නට සමත් වන්නීය.

මෙවන් වූ සුඛිත මුදිත  තත්ත්වයක් තුල, අප්‍රියෙල් මස පැවැත්වෙන හෝලි උත්සවය ට  සමගාමීව දේදුනු වසන්ත උත්සය පවත් වන්නට නගරාධිපති තැන්පත් මෙත්තපාල් සක්සේනා අණ කරන්නට යෙදුනේය.

උත්සව භූමියේ ඉතාම චාම් ලෙස පොල්කොට පුවක් කොට ඇසෙම්බල් කොට තනන ලද විශාල  වේදිකාවකි. එහි බිමට අතුරා ඇත්තේ වියන ලද නෙරලු පත් වේ. වහල පනා පත්‍රයෙන් සැරසුම් කොට ඇත. වේදිකාවේ පසෙකින් ප්‍රභූ ආසන ලෙස කපා ඉතිරි වූ කොස් කොට කිහිපයක් ස්ථාන ගත කොට තිබෙයි.ඒවායේ පොඩියට මෙසේ සඳහන් වෙයි'' අනුග්‍රහය පුලස්තිනුවර පරිසර සංරක්ෂක රාජු මල්ලී ගෙනි. මම කපලාම දැන් ගස් ඉවරය.ඇත්තේ කොට පමණි.කමන්න...!'' 
වේදිකාවට ආලෝකය සපයා තිබෙන කුප්පි ලාම්පු හෙවත් වයිෆ් බැටරි වලින් කදිම ට්‍රොපිකල් සන්ධ්‍යාවක සිරි ඉතිරෙයි.සමස්ත වියදම රුපියල් 6000 න් කවර් කරගත් සංවිධායක මණ්ඩලය එම  ප්‍රීතිය නිසා කූරියා නොගැසූවා පමණි.

රුපියල් පන් දහසේ සිට ඉහලට වූ අවසර පත් එදින දොරටුවෙන් ලබා ගත් නුවරු උත්සව භූමියේ පොදි කන්නට වූයේ මහත් උනන්දුවකිනි.

ආදම් හා ඊවා ඉදිරි පෙලින්ම අසුනක් හිමි කර ගන්නට සමත් වූහ.

හරියට සැන්දෑවේ හයට නගරාධිපති මෙත්තපාල් සක්සේනා මහතා ස්වකීය තුට්ටු දෙකේ බෙන්ස් රත කබලෙන් උත්සව භූමියට සැපත් විය.එතුමාගේ ගම්භීර පෞරුෂය දේශ දේශාන්තරයන්හි පතළය. ජනයා විසිල් පිට විසිල් ගසා එතුමා පිළි ගත්හ.


එතුමෝ ස්වකීය ප්‍රතාපවත් හඬින් උත්සව භූමිය අමතන්නට වූහ.
''නුවරුනි, මෙතැන නැති වුනත් මම පළමුවෙන්ම අවසර ගන්න යන්නේ අල්ලපු වත්තේ ජම්බු ද්වීපයේ සිටින, මා මේ හැඳ සිටින කංචුකය මට දුන් මගේ පියාණන් සම ජම්බුදීපයේ ගරු  මෝදි අය්යාගෙන් සහ එතුමා ගේ කීකරු රෝ සුරතලා ගෙන්ය.මෝදි අය්යා මෙහේ ආ වෙලාවෙත් මට ජම්බු ගෙඩි දහ තුනක්ම දීලා ගියා. නිකං ජම්බු නෙමෙයි මේවා, හොඳ රතු ජම්බු, පැලෙන්න ඔන්න මෙන්න.කන්ට කන්ට ආසයි. කෑවාම රටම අන්දොස්! ඊලඟට අවසර ගන්නේ මට මෙව්වා එක ගලවා අතට අත දුන් ඇමරිකාවේ බකිංහැම් මාලිගාවේ මහා රංජනී ගෙන්ය..,එතුමියලා පාවිච්චි කරන්නේ ටිෂූ නොවැ? අත හෝදන්නේ නැහැ...., අපේ නෝනා ගිහිල්ලා දාපු ඇක්‍රොබැටික් මූව් එකට රැජින නෙමෙයි මාත් කොරවෙලා ගියා හිටං..! එච්චර ට දැකුම් කලුයි; චිත්තාකර්ශනීයයි...
මම ඇවිලා හරිම චාම් නගරාධිපති කෙනෙක්. උරුගුවේ හිටපු ජනපති ජෝසේ මුජිකා මොකෙක්ද? මා තමයි චා....ම්ම් ම, චා නගරාධිපති...
අද මෙතැන දේදුනු වසන්ත උත්සවය 2015 අරඹන්නේ ජාතික කොඩි ,ජාතික ගී අරවා මේවා නැතිවයි. හේතුව ඒවායින් ජාතික සමගිය නැති වී ජාතීන් අතර වෛරය ඇති වන්නට පුලුවන් නිසායි...,
මෝඩි අය්යාගෙ රටේ ඉස්සරත් දැන් වගේම පාරවල් පාරවල් ගානෙ වන්දේ මාතරම් කිය කියා ''මෙව්වා'' කරපු ක්‍රම වේදයක් තිබුනා.ආන්න ඒක අපි ඊලඟට උත්සව සමාරම්භක චාරිත්‍රයක් වශයෙන් යොදා ගන්න බලාපොරොත්තු වෙනවා...!..මින්පසු උත්සවයන්හි තියෙන්නේ පොල්තෙල් පහනක් නෙමෙයි, චාමෙට හදපු පොල්කොට කොමෝඩ් එකක්....!
ඕනෑම නම් නුවරුනි, වන්දේ මාතලන් කියලා වෙනස් කරන්න වුනත් මම කැමතියි....!
..මේ නව ක්‍රමයට උත්සව සමාරම්භනය පිළිබඳ කැබිනට් ඇමති වශයෙන් ''මංගල් සරම් ආල'' මහතා මා මෙයින් පත් කර සිටිනවා. මොකද එතුමා ප්‍රසිද්ධියේ ඔය මෙව්වා එක කරලා කරලා එහි ලා මනා පටුත්වයක් විදහා දක්වනවා.!''.''

නුවරු ඔල්වරසන් දෙති.විසිල් ගසති.ඩබල් විසිල් පවා ගසති.එකම උත්සව ශ්‍රීයකි.ගීත ඇරඹේ. නාට්‍ය ලාලාසයෙන් උත්සව භූමිය පිරී ඉතිරී යයි.

ආදම් විසිල් ගසයි.උඩ පනියි.ඊවා නැති වුනු සෙරෙප්පුව සොයයි.ආදම් ව නිහඬ කර ගෙන වාහනයට ගෙන යන්නට තැත් කරයි.ආදම් අත අතෑරව ගනියි.යලිත් උඩ පනියි.විසිල් ගසයි. කෑ ගසයි.

''....වන්දේ...හ්..!, මා...ත...රම්....!''

Monday, March 16, 2015

ආදම් ගේ රුබික් කැටය සහ ඊවාගේ අනාගත වාක්‍යය.

from Google

පෙරේදා ජම්බුකාවේ වුමනිං මාර්කැට්ටුවෙන් එලවලු, පළතුරු ගන්නට ආදම් සමග ගිය ඊවා ඔහුගේ ජීවිතයේ මෙතෙක් නොදුටු පැති කඩක් දැකීමට සමත් වූවාය.

ඊවා ගේ අත අත හැර දමා ආදම් ඊගහේ වේගයෙන් එක්තරා කාන්තාවක් ලඟට දිව්වේ සුසිල් ජාම ප්‍රියන්ත, ජම්බුකාවේ නව සෙරමෝනියල් නගරාධිපති තැන්පත් මෙත්තපාල් සක්සේනා ලඟට දිව්වාට වඩා වැඩි වේගයකිනි.

වෙනදා ආදම් කෙල්ලනට පැනි සිනා දමන විට සහ මරු පස්ස ආදී වශයෙන් අදහස් ප්‍රකාශ කරන විට  ඊවා ද උපහාසයෙන් උල්පන්දම් දෙමින් ද,  ඔයාගෙ දුව වගෙයි ආදී ලෙස ආදම් අධෛර්‍යය කරමින්ද මෙවැනි දෙය ඉවසන්නීය.එසෙ මුත් මේ මොහොතේ නම් ඊවා වනාහී ඊර්ශ්‍යාවට කියනු ලබන තවත් එක් නමකි.තනිකරම මේ වෙනස වූයේ ආදම් සුසී ජයසිංහ පරයා ගැහැනියක් ලඟට දිවූ නිසාය.

ඊවා ස්වකීය සුදු සහ දුඹුරු මේද සංචිතයෙන් සජ්ජිත බඳ ලෙලෙවා එතනට යනවිටත් ආදම් ස්වකීය ගොදුර ඩැහැගෙන අවසන් කලේ ගැහැණියට රුපියල්ම සියයකුත් ගෙවමිනි.

ඊවා දුටු ආදම් අහිංසක මුත් ජයග්‍රාහී සිනහවකින් මුව පුරවා යලිත් ඇයගේ අත ගත්තේය.

මේ මොහොතේ ආදම් ගේ ජීවිතයේ මෙතෙක් නොදුටු පැති කඩක් දැකීමට සමත් වූවාය.එනම් ඔහු රුබික් කැටය කට දැක්වූ නොනිම් ආලයයි.

යලිත් නිවස කරා එන අතරමග පවා වෙනදා සයිඩ් කන්නාඩියෙන් කෙල්ලන් දෙස බලා මරු පස්ස , කොට මොඩ්ල් ලඟ පිකප් ආදී විවිධ සිනමා විචාර ගෙන එන ආදම් ගේ හදවත එදා නම් එක පැහැර යොමු වුනේ රුබික් කැටයටම පමණි.ඊවා ගැහැණියකට මෙන් රුබික් කැටයට ඊර්ශ්‍යා පවා කළාය.

නාටකයේ ඊලඟ එපිසෝඩය ඇරඹුනේ යුවල නිවසට සැපත් වූ මොහොතේ සිටය.

අන්තර්ජාලය පෙරලාගෙන රුබික් කැටය එකේලි කරන මං සළකුණු සොයන ආදම් ගේ ආර්, යූ, ආර් ඉන්වර්ස්, ඩී,ඩී ඉන්වර්ස්  ආදී බහ තේරුම් අතර මහත් ශාප කිරීම් සහ රුබික් කැටයේ නිර්මතෘ ගේ මව් ගුන ගායනා ඇසෙන්නේ තව පැය භාගයක් ගිය පසුවය.

''..මොකද ? රුබික් ලඳ බූට් තිබ්බද..?'' ඊවා කියවමින් සිටි ''එදා චෞර රාජිනී, අද සොඳුරු දේහිනී'' නම් වික්වන් අයිටර් නම් ඇමෙරිකානු ලේඛකයාගේ නවකතාවෙන්  මඳක් ඈත් වෙමින් අසන්නේ ආදම් ගැන උපන් ආදරණීය දුකක් ද ඇතිඅවය.

''මේක හරියන්නෙ නැහැ.ස්ටැන්ඩර්ඩ් රුබික් කැටයක තියෙන්න ඕන මේ විදියට නෙමෙයි.වයිට් තියෙන්න ඕන යෙලෝ වලට ඔපසිට්, රෙඩ් තියෙන්න ඕන ඔරේන්ජ් වලට ඔපසිට්,අන්න එහෙම. මේ ජරා චීන බඩු,මෙලෝ ප්‍රමිතියක් නැහැ..''
'' කොටන කුකුළට කොයි කොටුවත් එකයි කියන්නේ?ඔය පේන්නැද්ද ආචාර්‍ය ඇට ගැමුණු?...''
''එහෙම නෙමෙයි ඊවා, ඔයාට තෙරෙන්නෙ නැහැ, මේකෙ පාඩම් කියලා දෙන්නෙ සම්මත පාට කොම්බිනේශන් අනුව,දැන් බලන්න කෝනර්ස් වලට පාට තුනක් නේ?.. මූණත් වෙනස් කරාම ඔක්කෝම වෙනස් වුනා.ඔයාට තේරෙන්නේ නැහැ මේවා.., ඇට ගැමුණු...!..''

ඊවා නිහඬ වෙයි.හේතුව ආදම් ට සැබවින්ම මල් යායක්ම  පැන තිබුණු බව පෙනෙන්නට තිබීමය.








තව පැයකින් එතනින් යන ඊවා තම රබර් ඇස ලෙලවා බලන්නී, රූබික් කැටය කැලි රැසකට ගැලවී ඇති අයුරද ,කැඩුනු රූබික් කැටයක් යලි සකසන්නේ කෙසේද යන යූ ටියුබ් වීඩියෝවට එබී සිටින උනන්දුවාද දකින්නී හොරෙන්ම සීලිම ට මිතුරු සිනාවක් පා පාවුනාය.

අර්බුදයක් ඇති වී කතාබහක් ඇති වූ නමුත් ,ඊවාටත් ආදම්ගේ කේලම් නොබලා ඉන්නට නොහැකි අසධ්‍ය රෝගයක් ඇත්තේය.තවත් පැය දෙකකින් එතැනින් යන ඊවා දකින දසුන සතුටද කුතුහලයද උපදවයි.

යූ ටියුබයට පිං සිදු වේවා!දැන් රුබික් කැටය යලිත් එකලස් වී ඇත..එනමුත් දැන් ආදම් එහි පාට කොල ගලවමින් යලි අලවයි.හතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා! මුහුණත් වල මැද පාට කොල සම්මතයට අනුව ඇලවූ පසු ඒවා හමු වන හැම තැනක්ම අවුල් වී ආදම් කොලෙන් කොලේ ඒවා ගලවමින් යලි අලවයි.රතු පාට කොල ඔහුගේ දකුණු අතේ, කොල පාට වම් බාහුවේ, නිල් පාට කම්මුලේ..!.කවදා ඉවර වේවි දැයි නොපෙනෙන අවුලක අසරණ ආදම් පැටලී ඇත.

'' ඔයාට තිබුනෙ රුබික් කැටය ගලවන්නෙ නැතුව පාට කොල ටික විතරක් වෙනස් කරලා අලවන්න. එහෙනම් මේ වෙනකොට වැඩේ ඉවරයි....''

 ආදම් ඊවා දෙස ආදරය ද පුදුමය ද  පිරුනු දෑසින් බලයි.
ඉල ඇටයෙන් හැදුනු ගැහැනියට තියන මොලයක්...!


ඉන්පසු පරාජිතව මෙසේ කියයි.
''....ඒක ඇත්ත...!''

 ඊවා හිනැහෙයි. ඇයට යම් සත්‍යයක් අවබෝධ වෙමින් තිබෙයි. ඉන්පසු ඒ සත්‍යය වචන වලට පෙරලෙයි.

'' ඔයා ජම්බුකාවෙ අධ්‍යාපන ඇමති වෙන්න ඉහලම සුදුසු කමක් ප්‍රකට කරා මේ  මේ රුබික් ජාතකය රඟ දැක්වීමෙන්..''
''...විකාර ඔයාගෙ. මගේ තොල් රතු ය මොකෝ?''
'' ඒ වුනාට විකිල අරාජ් තුමත් ඔහොමමයි.කඩනවා හදනවා.හෙන රවුමක් ගිහින් ආපහු ඒකම හදනවා...''

එහෙත් ආදම් හදිසි සතුටකින් මෙසේ කියයි.
'' ඒ වුනාට මම රුබික් කැටයක් කඩලා හදන හැටි ඉගෙන ගත්තනේ..!.''

ඊවා ද අවබෝධාත්මකව හා කල්පනාකාරීව  මෙසේ කියයි.

'' ඉතින් විකිල අරාජ් තුත් අධ්‍යාපන ඇමති වෙන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නවනේ.ඔයා පාට කොල අලවලා ඉවර වෙන කාලෙ වෙනකොට එයාත් ඒක ඉවරෙටම ඉගෙන ගෙන තියේවි..''

ආදම් අධ්‍යාපන ඇමති වෙන සැටිද ,අගමැති තුමාගේ කෝපාග්නියෙන් දැල්වෙන දෑසද ඇයට මැවී පෙනෙයි.
අනතුරක් අත ලඟ බව සිතෙයි.මොනවා කරන්නදැයි අසරණ ඊවාට නොතේරෙයි.

Saturday, March 14, 2015

ජම්බුකාව ට උදෑසනක්. ඊවාට නව බලාපොරොත්තු..!



From Google


ඉදින් ජම්බුකාව ට නව දිනක් උදා වෙයි.

ඉරිමා පාන්දර ස්වකීය පශ්චාත් භාගා උඩ ලා ගෙන සැතපෙන ආදම් ට සහ ඊවාට එලාම් නාදය ඇසෙන්නේ ඉතාම කර්ණ රසායන මන මෝහනීය ඇරයුමක් පරිද්දෙනි. ටයිම් පීස් ඔරලෝසුව මරා ගෙන මැරෙන්නට නැගෙන මෛත්‍රී  සිතිවිලි පෙරදැරිව ඊවා පළමුව හඬ අවදි කරන්නීය.

''....ඇඩම්.. ඇඩම්..''
''..ම්හ්..''
''අවදි වෙන්න..''
''හ්ම්..හ්ම්..''
''අවදි වෙන්නකෝ..''
''..හ්ම්..හ්ම්..''
''...හ්ම්..හ්ම්..''
ඇඩම් අවදි නොවෙයි.හරියට තමාත් ඇහැරෙන්නේ ආදම් ගේ ඇස් වලින් මෙන්  ඊවාත් අවදි නොවන්නීය.
විනාඩි ගනනක් ගෙවෙයි.අවදි වියයුතුය යන සිතිවිල්ල දැන් ආදම් ගේ හෘද සාක්ශිය පෙළයි.

''...ඊවී...''
''..ම්හ්..''
''...අවදි වෙන්න..''
''..හ්ම්..හ්ම්..''
''...අවදි වෙනවා..''
''...හ්ම්..හ්ම්..''
''..හ්ම්..'' ඊවා අවදි නොවන්නීය. එබැවින් ආදම් ද අවදි නොවෙයි.

තවත් විනාඩි ගනනක් ගෙවෙයි.අවදි විය යුතුය යන සිත්විල්ල දැන් දෙදෙනාගේම හෘද සාක්ශි එකසිය ගනනට පෙළයි.
එක්වරම ආදම් ඊ යන්න කියන විටම ඊවාටද ඇ යන්න කියවෙයි.කලින් කතා කර ගත්තාක් මෙන් දෙදෙනාම එකවර ඉද්ද ගැසුවා සේ නැගිටිති.උදෑසන ඇහැරීමට ආදම් ද ඊවාද එකිනෙකා ගෙන් දිරි ලබා ගන්නේ මේ අයුරිනි. උදෑසන කීවාට ඉතින් දැන් වේලාව උදේ පහමාර බව මතක් කළ යුතුය.මක් නිසාද යත් ඇහැ ඇරීමේ නාටකය උදෙසා පැය බාගයක් පමණ ගත වූ නිසායෙනි.
ආදම් ඉතා උද්‍යෝගයකින් යුතුව ට්‍රෙඩ් මිල් එකට ගොඩ වෙයි.ඇන ඔබයි. පදියි.වැටෙන්නට හදයි.නවතියි.තව ඇන ඔබයි.පදියි.ඔහුට හරියටම ඇහැ ඇරෙන්නේ වරක් වැටුනාට පසුවය.

ඊවා සීනි පිරුණු ස්වකීය මෝල්ට් පානය ට ග්‍රීන් ටී දමා බොන්නට පටන් ගනියි.තවමත් බාගෙට ඇහැරී සිටින ඇය සිය පිරුණු ශරීර ස්කන්ධය සෝපාව උඩ බාව ගෙන රිමෝට් කොන්ට්‍රෝලරයෙන් මුල් පිටුව සොයන්නීය.වයි පී ජම්බු කන්නට පටන් ගත් දින සිට මුල් පිටුව නැති බව නිදි මරගාතේ වුවද ඊවාට ග්‍රහණය වෙයි.
ඒ මුල් පිටුව හැර තවත් මුල් පිටු ඇත්දැයි, ඒවාත් හැර තව තව ත් මුල් පිටු ඇද්දැයි බලා ඈ වෙහෙසෙයි.
ඉන්පසු ආදම් දෙසට හැරෙයි. ''..අය්යෝ ඇඩම් ඔය ස්පීඩ් මදි නේ.ඔයාට වන් වීක් වලට වන් කිලෝ අඩු වෙන්න නම් දවසකට ඔයා තවුසන්ඩ් කැලරි වත් බර්න් කරන්න ඕනී.., අනික ඔයා කොල ජාති,ෆෘට්ස් ගොඩක් කන්න ඕනි, සීනි නොදා තේ බොන්න ඕනි, හරිද? කාර් එක මෙහයින් නවත්තලා ඉතුරු ටික ඇවිදින්න ඕනි.සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් නවත්තල හොඳ...ට.. ඇක්ටිව් වෙන්න ඕනි..,.........,...  ..... ...,,''

ආදම් මේ උපදේශ කරුණා පෙරදැරිව දත් මිටි කමින් අසා සිටියි. දාඩිය වැගිරෙයි...ඊවා තව තවත් සීනි මෝල්ට් බොයි.එක්වරම ඉද්ද ගසා උඩ විසිවී නැගී සිටියි. ජයග්‍රාහී කූජනයක් නගයි.රවුමක් කැරකෙයි.

''..හා..! අල්ලල අල්ලලා..!''

ප්‍රීතිය උතුරා යයි.
මොකක් දැයි අසා ගන්නට ආදම්ට ඕනෑ වුනත් ඔහුට හතිය.ඔහු ගල් ඉබ්බෙකු සේ මේ හදිසි මහත් ප්‍රහර්ශයට හේතුව කුමක්දයි අභිනයෙන් අසයි..

''..අල්ලලා ....! ''..අල්ලලා ..!''   ඊවා වටයක් කැරකෙයි.යලිත් කූජනයක් නගයි.
 මොහොතක් ගනියි.
''...අල්ලලා...!...................., පාස්පෝට් හෙර....!..''

නිදිමත කොහිද නැත. අද දවස නව ජවයකින් ගත කිරීමට ඊවාට දිරි ලැබී ඇත.
අල්ලලා..!

Friday, March 13, 2015

ජම්බුකාවේ ආදම් සහ ඊවා මඩකලපුව යුවල.





තවද එක් සමයෙක් හි, මෙ ලෙව් තලයේ එක්තරා විශාල නුවරක් තිබෙයි. විශාල මිසක් විශාලා නුවරක් නොවන බැව් පාඨකයා දත යුතුය. මෙ නුවර නාමය වනාහී ජම්බුකාව  නම් වෙයි.මෙම ද්වීපයේ භූමි කේන්ද්‍රයේ ලැබීම් ස්ථානයේ ජම්බු ලැබීමට අධිපති ග්‍රහ දෙවියා උච්චව, ස්වක්ශේත්‍රව මතු නොව දෙර්කාණාධිපතිව ද ස්ථාන ගත වී ඇති හෙයින් නිති පතා එකසිය ගානට, නා නා ප්‍රකාර  ජම්බු  ලැබීමේ,ජම්බු ම ලැබීමේ, පින් සාර ගුණයෙන් මෙකී නුවර අනූණ වන්නීය.

මෙහිදී පාඨකයා මෙය ''ජම්බුද්වීපය'' සමග පටලවා නොගත යුතුය.ජම්බුද්වීපය වනාහී අවට සාක් රට රාජ්ජ වලට සාක්කි මතු නොව ඇඩ්‍රස් ද නැති වන ගානට ජම්බු දීම නිසා එම නාමය උපයා ගත් බව දත මනාය.ජම්බුකාව තම නාමය උපයා ගත්තී නිමක් නැති තරම් ජම්බු කෑම නිසාමයැ.ඕ තොමෝ දෙන තරමක් ජම්බු කන්නීය.මේ දිනවල ඇය ට තරම් මුලු මහත් ලෝක ධාතුවෙන්ම විවිධාකාර තරු තියන, කතිර තියන , කරත්ත රෝද තියන දවටනවල ඔතන ලද විවිධ හැඩ තලවල ජම්බු ලැබෙයි. ඕ හිටු කියා ඒවා කන්නී හරි රසයිද කියන්නීය.
මේ සියලු අල්ලපු ගෙවල් වල ජම්බු වලට වඩා ද්‍රේශීය ව නිශ්පාදිත ජම්බු මේ දිනවල ජම්බුකාවේ ප්‍රධාන ආහාරය හෙවත් ස්ටේබල් ෆුඩ් එකය. මේ ලෝකල් ජම්බුවේ නම ''වයි. පී ජම්බු'' වෙයි. වයි. පී රිප්‍රසන්ට්  කොරන්නේ මොකක්දැයි තම තම නැණ පමණින් වටහා ගත යුතුය.

ඉදින් මෙවන් වූ ජම්බුකාවේ, ආදම් ද ඊවාද කොහොමින් කොහොම හරි පහළව තිබුනෝය.

මෙකී ආදම් පළමුව පාසල් ගිය දවසේ මෙන්න මෙවන් වූ ප්‍රශ්නයකට මුහුණ පා තිබුනේය.

ටීච:    ''ඇඩම්..., ඔයාගේ සර්නේම් එක මොකක්ද?''
ආදම්:   ''අහන්ට නම් එපා. කියන්නෙ නම් නැහැ රජෝ..! ''
ටීච:       '' හා හා හරි ස්වීට් අනේ. ඇයි ඔයා ඒක කියන්නේ නැත්තේ?''
ආදම්:     ''කියන්නෙ නැත්තෙද? ඕක කියලා අපෙ අල්ලපු ගෙදර ටිංකිරි කොක්කා මට තාම හිනා වෙනවා.මම කියයි ඕක. ටීචට මොකටද ඒක? මට ආදම්  කියන්නකෝ....!''

  ඉතින් මෙච්චර අකමැත්තෙන් තම පාසල් සමයේදී සැඟෙව්වද, මෙහිදී එය කීමට සිදු වෙයි. ඔහුගේ නම ආදම් මඩකලපුව නම් වෙයි. ඒ අනුව ඊවා තොමෝද ඊවා මඩකලපුව නම් වන්නීය.

ආදම් තෙමේ ( නම් ඊවා කුඩයක් ඉහලනු ඇත.මෙහි සිටින තරුණ නෝනලා කලබල නොවන්න ) වසර 14ක් පමණ ටියුශන් පන්තියේ සිට පෙම් කොට ඊවා සැට් කොර ගෙන කසාද ත් බැඳ හමාරය.

ඉතින් මෙතැන් සිට මේ පින්බර ජම්බුකාවේ වැසි ආදම් සහ ඊවා මඩකලපුව යුවල එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන සබ්බ සකලමනාව අරක මේක මෙහිදී හෙළි දරව් වෙයි.

ආදම් ලා ඊවාලා පමණක් නොව මේ හුදී ජන මාත් ජීවත් විය යුතු නිසා මගේ වෙන වෙනත් ඒවාත් ඉඩ ලැබුණු හැටි හැටියෙන් ලියැවෙනු ඇත.

Monday, March 9, 2015

අරක මේක කියන්නෙ තවත් එක්තරා සිංහල බ්ලොග් එකක්.

බ්ලොග් ලියන්නෙ පොඩි කාලෙ ඉඳලම කියවන්න හුරු වෙච්ච  අය. එයාල  තුල ඉන්න වෙන්ඩ ලේඛකයා නිතරම  හිතෙන් කතා ලිය ලිය, කවි ලිය ලිය,චිත්‍රපටි පිටපත් ලිය ලිය විතරක් නෙමෙයි ඒවා අධ්‍යක්ෂණය පවා කරමින් ඉන්නෙ.මම නම් මගෙ අනාගත චිත්‍ර පටි වලට නලු නිලියොත් තෝරලයි ඉන්නෙ. අනේද කියන්නෙ.

පොත් කෙසේ වෙතත් බ්ලොග් වත් ලියමුකො, නැද්ද?
ඉතින් මං හිතා ගෙන ඉන්නෙ මට හිතෙන ඕනම දෙයක් ලියන්නයි. සිංහල බ්ලොග් ලෝකයේ හුදු පණබේරා ගැනීම උදෙසා පවතින රැල්ලට නම් ලියන්නෙ නැහැ.ඉතින් ඒ නිසා මට ගොඩක් මඩ හෙම නම් වදීවි.පුලුවන් තරම් උහුලලා බලමු.

මේ බ්ලොග් එකේදි විටෙක කාන්තාවක් වෙන්නත්, විටෙක පිරිමියෙකු වන්නත් මට නිදහස තියනවා. ඇතැම් විට මේක ලියන්නෙ දෙදෙනෙක් වන්නත් පුලුවන්. ඒත් මේ මම මෙහි ලියන දෙය වෙනුවෙන් පෙනී හිටිනවා. කියවනකොට හිතා ගන්න පුලුවන් වෙයි මේ ආදම්ද,ඒවාද කියලා. සමහර විට බැරිත් වෙයි.
ඕනම් ඇනෝ කෙනෙක් එන්න. ඇනී ලත් එන්න.පොනී ලත් එන්න.අපහාස අවමන් මැද බ්ලොග් ලෝකය ටිකක් අසීරු තැනක් වෙච්ච බවත් පෙනෙනවා.
කමක් නැහැ, ''දීගා ජාඝරතෝ රත්තී'' කිව්වා වාගෙ නිදි වරන්නාටයි ,රැය දිගු.

එහෙනම් පටන් ගනිමු.